[1 කොටස] මහජන ඉඩම් කොමිෂන් වාර්තාව කෙටියෙන් - ඉඩම් භුක්තිය අහිමි කරවීම

අද සිට මහජන ඉඩම් කොමිෂන් වාර්තාවේ සාරාංශයක් කොටස් වශයෙන් අප වෙබ් අඩවිය හරහා සිංහල, දෙමල , ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම දිනපතා  පළවේ. මේ එහි පළමු කොටසයි. 

භුක්තිය අහිමි කරවීම

භුක්තිය අහිමි කරවීම යනු පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට ඉඩම් හෝ දේපළ අහිමි කරවීමයි.

ඉඩම් භුක්තිය අහිමි කරවීම ජීවනෝපායන් අහිමි වීමට මෙන්ම සමාජ ආරක්ෂණය පාරිසරික සාධාරණත්වය හා අන්‍යතාවයන් අහිමි වීම කෙරෙහි ද සෘජුවම බලපානු ලබයි. කොමිසම ඉදිරියේ ඉදිරිපත් කරනු ලැබූ බොහොමයක් ඉඩම් භුක්තිය අහිමි කරවීම පිළිබද සිද්ධින් හමුදාකරණයයට සහ ආයතනිකව ව්‍යාප්ත වී ඇති ජනවාර්ගික පදනම මත වෙනස් කොට සැලකිම්වලට සම්බන්ධය. ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධන ආකෘතිය, පරිපාලනමය අසමත්වීම් සහ  විශේෂයෙන්ම වතුකර ජනතාවගේ ඉඩම් අයිතිය වැනි කාරණා වලදී අදාලවන ක්‍රමික පද්ධතිමය බැහැරකිරිම් ද ශ්‍රි ලංකාවේ ජනතාවගේ ඉඩමේ භුක්තිය අහිමි කරවීම කෙරෙහි බලපා තිබේ. 

කොමිසම විසින් පවත්වනු ලැබූ විමසීම්වලට අනුව ඉඩම් භුක්තිය අහිමි කරවීම සඳහා බලපානු ලබන ප්‍රධාන කාරණා පහත පරිදි වේ. 

■    හමුදාකරණය


■    ජනවාර්ගික පදනම මත වෙනස්කොට සැලකීම


■    ආර්ථික සංවර්ධන ආකෘතියේ පවතින ගැටලු


■    නිළධාරිමය හා පරිපාලන අසමත්වීම්


■    වතුකර ජනතාව ක්‍රමික පද්ධතිමය බැහැර කරවීම


■    කුලය මත පදනම්ව ක්‍රමික පද්ධතිමය බැහැර කරවීම


ප්‍රධාන සොයාගැනීම්

හමුදාකරණය

1. ගැටුම් පැවති සමය තුළ උතුරු හා නැගෙනහිර පළාත් තුළ අල්ලා ගන්නා ලද ඉඩම් තවමත් හමුදාව හා පොලීසිය යටතේ පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ඉඩම්වල ජීවත් වූ බොහොමයක් ප්‍රජාවට එම ඉඩම් කරා යා නොහැකිව සිටි.

2. මුල්ලිකුලම්, කේපාපිලවු, යාපනය හා කිළිනොච්චිය වැනි ප්‍රදේශවල දමිළ ජනතාව සතු වූ ඉඩම් හමුදාව අත්පත් කරගෙන සිටි. එබැවින් ඉඩම් සඳහා ජනතාවට ඇති අයිතිය ප්‍රතික්ෂේප කිරිම බොහෝ විට ජනවාර්ගික පදනම මත සිදුවන වෙනස්කොට සැලකිම්වලට සම්බන්ධය.

3. පැවති අදහස් විමසීම්වල දී පෙනීගියේ බොහෝ විට ප්‍රාදේශීය නිලධාරින් බය නිසාම ඉඩම්වලින් ඉවත් වීමට හමුදාවෙන් ඉල්ලා සිටිමට පැකිලෙන බවයි. 


ජනවර්ගය මුල්කරගෙන වෙනස්කොට සැලකීම


1. නැවත පදිංචි කරවීම් හා ජනාවාසකරනය සම්බන්ධ ජනවාර්ගික පක්ෂග්‍රාහි ප්‍රතිපත්ති සිංහල සහ දෙමළ සිංහල හා මුස්ලිම් මෙන්ම මුස්ලිම් හා දෙමළ ජනකොටස් අතර නිරන්තර ගැටුම්වලට මගපාදා තිබේ. 

 උදා - 

   ගල්ඔය යෝජනා ක්‍රමය (අම්පාර)


■    මහවැල් සංවර්ධන ව්‍යාපෘතිය


■    නොරොච්චෝලේ සුනාමි නිවාස ව්‍යාපෘතිය (අම්පාර)

2. නැවත පදිංචි කරවීම් හා ජනවාසකරන ක්‍රියාවලියේ පවතින පාරදෘශ්‍යභාවය මදකම නිසා සුළුතර  වාර්ගික ප්‍රජාවන් ඒ සම්බන්ධයෙන් සැක සහිතව බැලීමට පෙළඹේ (ප්‍රාදේශීය ජන සංයුතිය වෙනස් කිරිම තුළ එම ප්‍රදේශයේ ජනතාවගේ ඡන්ද බලය දුර්වල කිරිමේ උත්සාහයන් ලෙස)

3. ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට අයත් ඉඩම් වනාන්තර වන ජීවි සංරක්ෂණ කලාප හෝ පුරාවිද්‍යා සංරක්ෂිත ප්‍රදේශ ලෙස හදිසි හා අත්තනෝමතික නම් කිරිම්. බොහේ විට මෙම අත්පත් කරගැනීම් සදහා වාර්ගික සුළුතර ප්‍රජාවගේ ඉඩම් ඉලක්ක වීම නිසාම මේ අත්පත් කරගැනීම් ජනවර්ග පදනම මත වෙනස්කර සැලකීමේ ස්වරෑපයක් ගනී.


ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ආකෘතියේ ගැටලු


1. රජය විසින් අනුගමනය කරන නව ලිබරල් ආර්ථික උපාය මාර්ගය මහා පරිමාණ ඉඩම් අත්පත් කර ගැනීම් හරහා සිදුවන භුක්තිය අහිමි කිරිම් තුළින් ග්‍රාමීය ඉඩම් කාර්මික කටයුතු සදහා නිදහස් කර ගැනීමට අපේක්ෂා කරයි. 

2. මෙහි දී තමන්ගේ ඉඩම් අහිමි වන සුළු පරිමාණ නිෂ්පාදකයින් අලුතින් ඇතිවන කාර්මික හා වෙළෙද ආර්ථිකයේ රැකියා සදහා යොමුවනු ඇතැයි මෙම ආර්ථික ප්‍රතිපත්තිය තුළ බලාපොරොත්තු වේ.

3. බහුජාතික කෘෂි ව්‍යාපාර සදහා විශාල පරිමාණයෙන් ඉඩම් පවරාදීම රජය විසින් සිදු කරන අතර සුළු පරිමාණ ගොවින්ට අයත් ඉඩම් ප්‍රමාණයන් දිගින් දිගටම අඩුවෙමින් තිබේ. 

■    මොණරාගල

■    හම්බන්තොට

■    අනුරාධපුරය

4. නාගරික ඉඩම්වල වෙළෙදපොල වටිනාකම වැඩිවීමත් සමග නාගරික දිළිදු ජනතාව නගරයෙන් පිටට හෝ මහල් නිවාස සංකීර්ණවලට තල්ලු කරමින් තිබේ. 

    කොළඹ සහ මීගමුව : වැඩිවන ඉඩම් මිළ ගණන් හා නිවාස කුලී නිසා ඉඩම් හා නිවාස අහිමිවීම් වැඩිවෙමින් පවතින අතර නාගරික දිළින්දන් තව තවත් නගරයෙන් ඉවතට විසිවේ.

රටපුරා අත්පත් කර ගන්නා ලද ඉඩම් සංචාරක ව්‍යාපාරය සම්බන්ධ යටිතල පහසුකම්  හා විශාල 'මහා - සංවර්ධන' (Mega Development)  ව්‍යාපෘති සඳහා යොදා ගනිමින් තිබේ. 

■    මල්වතු ඔය - ආශ්‍රිතව ජීවත් වූ ජනතාව සංචාරක ව්‍යාපෘති සඳහා නැවත පදිංචි කරවීම.

■    බණ්ඩාරවෙල, හම්බන්තොට, කොළඹ, මීගමුව, සාම්පූර්, අරුවක්කාරු වැනි ප්‍රදේශල ජනතාවට මහා සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඉඩම් අහිමිවීම.


රිපාලන හා නිළධාරිවාදී අසමත්වීම්

1. නිළධාරින් හා බලධාරින් ආර්ථික හා දේශපාලන බලය සහිත අයගේ උවමනාවන් ඉටු කරලීම සදහා වැඩි ප්‍රමුඛතාවය ලබා දෙන අතර සාමාන්‍ය ජනතාවගේ ගැටලු අකාර්යක්ෂමතාවය හා වෙනස් කොට සැලකීම ඔස්සේ නොසලකා හරින බව ජනතාව පැමිණිලි කරති.

2. ඉඩම් සම්බන්ධ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයේ අඩුකම පිළිබදව ද ජනතාව පැමිණිලි කරති. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් බලයලත් ආයතනයක් විසින් ඉඩම් බලපත්‍ර නිකතු කළ ද තවත් ආයතනයක් විසින් එම ඉඩම්වලට පිවිසීමෙන් ජනතාව වැළැක්වීමේ අවස්ථා දක්නට ලැබේ.

3. විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු අතර පවතින ගැටුම් ජනතාවගේ ඉඩම් ගැටලු විසදීමේලා අහිතකර ලෙස බලපා තිබේ. ඉඩම් අහිමි ජනතාවට ඉඩම් බලපත්‍ර ලබා ගැනීමට හෝ තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ විට කරදරකාරි හා පැටළිලි සහගත ක්‍රියාවලියක නිරත වීමට සිදුව තිබේ.  

4. ඉඩම් බලපත්‍ර හා ප්‍රදානයන් ලබාදීමේ දී ජනතාව සතු දැනුවත්භාවය හෝ අධ්‍යාපනය මදකම ඇතැම් දූෂිත පරිපාලන නිළධාරින්ට එම බලපත්‍ර හෝ ප්‍රදානයන් සැබෑ උරුමකරුවන් සිටියදී නීති විරෝධි ලෙස අනෙක් අයට පවරාදීමට ඉඩකඩ පාදා දී තිබේ. 

■    මුලතිව්හී  අදහස් විමසීම්වලට සම්බන්ධ වූ ප්‍රජාවන් තමන්ගේ තාවකාලික බලපත්‍ර ස්ථීර ඔප්පු බවට හරවා ගැනීමට නිළධාරින්ගෙන් එල්ල වී ඇති බාධාවන් පිළිබද විස්තර කරන ලදී.

5. ඉඩම් සංවර්ධන ආඥා පනත (LDO) ගොවි පංතියේ ජනතාවට ඉඩම් ලබා දෙනු වස් සීමාසහිත ඉඩම් අයිතිවාසිකම් ලබාදීමේ ක්‍රමවේදයක් 1935 දී හදුන්වා දෙන ලදී. මේ නීතිය අනුව ගොවින්ට මුලින් බලපත්‍ර යටතේ දල පසුව ප්‍ර දානයන් යටතේ ද ඉඩම් ලබාදෙනු ලැබේ. 

6. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රජයේ ඉඩම් ලබාදීමේ දී ගෘහමූලිකයා වශයෙන් පිරිමියා පමණක් සළකනු ලබන අතර ඉඩමේ පසු උරුමය මවට හෝ අනෙකුත් ගැහැණු දරුවන්ට ලබා නොදී වැඩිමහල් පිරිමි දරුවාටම පමණක් හිමිවන ලෙස සම්පාදනය වී තිබේ. 

වතුකර ජනතාව ක්‍රමිකව පිටමං කිරිම 

1. වතුකර ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කරවීම හා තීන්දු ගැනිමේ ව්‍යුහයන් තුළින් ඔවුන්වව ක්‍රමිකව පිටමං කිරිම ඔවුන්ගේ ජීවන තත්වයන් කෙරෙහි හානිකර අයුරින් බලපා තිබේ.

2. වතුකර ජනතාව අතර ඉඩම් බෙදාදීමේ ප්‍රතිපත්ති තීන්දු ගනු ලැබූව ද පරිපාලන හා නිළධාරිවාදී අසමත්වීම් ද වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි වීම දිගින් දිගටම පැවතීමට හේතු වී  ඇත.

3. වතුකරයේ ජනතාවගේ ඉඩම් අහිමි වීම පිළිබද ගැටලුව වතු ක්‍රමය තුළ ගොඩනැගුණු සමාගම්වල අයිතියට බැදුනු ශ්‍රමය පිලිබද පුළුල් ගැටලුවට සම්බන්ධ නමුදු දැනටමත් විකල්ප රැකියා සොයා වතුකරයෙන් පිටවූ ජනතාවට වතු ජනතාවට ඉඩම් ලබාදෙන කිසිදු වැඩසටහනකට හිමිකම් කීමේ අවස්ථාව නැත.

4. ජනතා ඉඩම් කොමිසම් වාර්තාව පෙන්නා දෙන පරිදි බොහෝ විට මෙම වැඩසටහන් මඟින් වතු ජනතාව පදිංචි කරවීම සදහා ලබා දෙන ඉඩම් ජීවත් වීමට නුසුදුසු නායයාම් හා අනෙකුත් ස්වාභාවික විපත්වලට පහසුවෙන් ගොදුරු වීමේ අවධානමක් සහිත ප්‍රදේශ වේ.

■  දෙල්තොට ලූල්කදුර වතුයාය : මෙය ලංකාවේ ප්‍රථම තේ වත්ත වේ.මෙම වතුයායේ අයිතිය වතු කම්කරුවන්ට ලබාදෙන ලෙසත්, ඉඩම් වතු ජනතාව අතර බෙදා දෙන ලෙසත් වතු කම්කරුවන් ඉල්ලා සිටි. 


කුලය මත පදනම්ව ක්‍රමික පද්ධතිමය බැහැර කරවීම

1. ඉඩම් අයිතිය සම්බන්ධ කුල පදනම මත වෙනස්කොට සැලකීම් සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ ජනවාර්ගික ගැටලුවට හා හමුදාකරණයටත් එපිට යන සියවස් ගණනාවක් පැරණි ඉතිහාසයක් තිබේ.

2. දැනට හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කරනු ලැබූවත් තවමත් නීතවාන් සුභසාධන කදවුරේ ජීවත්වන බොහෝ දෙනෙකුට ඔවුන් ජීවත් වූ ප්‍රදේශවල ඉඩම්වල හිමිකම නැති බැවින් නැවත එම ඉඩම් කරා යා හැකි වෙතැයි සැකසහිතය. 

3. ජනතා ඉඩම් කොමිසම විසින් සිදුකරනු ලැබූ ද්වීතික අධ්‍යයනයන්ගෙන් පෙනී ගියේ අවතැන් වූ ජනතාවගේ කුල පසුබිම ඔවුන්ගේ ඉඩම් අයිතිය නැතිවීම කෙරෙහි බලපා තිබෙන ආකාරය පිළිබදව දමිළ ජාතිකවාදී දේශපාලඥයින් අවධානයක් යොමු කර නැති බවයි.

4. සිවිල් යුද්ධය අභ්‍යන්තර අවතැන්වීම් හා හමුදාකරණය සම්බන්ධයෙන් දමිළ ජනතාවගේ අත්දැකීම් සදහා කුලය තීරණාත්මක සාධකයකි. හමුදාව ඉවත් කර ගැනීම, ජනවාර්ගික සමගිය සහ උතුරු පළාතේ සමාජ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත් වුවත් එයම පමණක් උතුරේ පීඩාවට පත් කුලවල ජනතාවගේ ඉඩම් නැතිකම සම්බන්ධයෙන් විසදුමක් නොවනු ඇත. 

5. ඇත්ත වශයෙන්ම පීඩිත කුල පසුබිමක් සහිත අවතැන්වූවන්ගේ පවුල් 1990 ගණන්වන ඔවුන් අවතැන්වල විට සිටි තත්වයට වඩා ව්‍යාප්ත වී ඇති අතර ඒ නිසාම වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.

6. හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ගම්මානවල ඉඩම් අයිතිය හිමි ව නොතිබූ කදවුරේ වෙසෙන ඇතැම් පවුල් තමන් දැනට පදිංචි වී සිටින ස්ථානවල හෝ දරුවන්ගේ අධ්‍යාපනය සදහා හොඳ පාසැල්, සෞඛ්‍ය සේවා හා ප්‍රවාහන පහසුකම් සහිත විකල්ප ඉඩම්වල අයිතිය ඉල්ලා සිටිති.

■    නීතවාන් සුභසාධන කදවුර (යාපනය) යනු අභ්‍යන්තර අවතැන්වූවන්ගේ කදවුරකි. වර්තමානය වන විට මෙම කදවුරේ පවුල් 61 ක් ජීවත් වන අතර එයින් 25 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන් 1990 දී වලිකාමම් උතුරේ ගම්මානවලින් අවතැන්වූ දවසේ සිට මෙහි ජීවත් වෙති. අවතැන්වූවන්ගෙන් බොහොමයක් පීඩිත කුලයන්ට අයත් අය වෙති. 


මෙහි දෙවන කොටසින් මහජන ඉඩම් කොමිෂන් වාර්තාව මඟින් ඉඩම් භුක්තිය අහිමි කිරීම වැළක්වීම සඳහා යෝජනා කර ඇති නිර්දේශ සාකච්ඡා කෙරේ. ඉඩම් භුක්තිය අහිමි කිරීම සම්බන්ධ සම්පුර්ණ සංක්ෂිප්ත සටහන pdf පිටපතක් ලෙස පහත 'Download the Article ' යන්න මත ක්ලික් කිරීමෙන් බා ගත කර ගත හැකිය.


පෙර කොටස් 

මහජන ඉඩම් කොමිෂන් වාර්තාවට හැඳින්වීමක්

Download Article